නිරූපිකාවක් විදිහට මං ගැන සතුටුවෙනවා

නිරූපණ ක්ෂේත්‍රය තුළ මේවනවිට වසර 19ක් වැනි විශාල කාලයක් තුළ කටයුතු කරනු ලැබූ ඇය නමින් දේදුනු වීරසේකර වෙයි. අත්දැකීම් බොහෝ ඇති ඇය මෙම ක්ෂේත්‍රය පිළිබඳව මේවනවිට පසුවන්නේ යම් කිසි කළකිරීමකින් බව අපට හැඟුනි. ඒ ඇයගේ කතාබහ නිසාය. නිරූපණය ක්ෂේත්‍රය නවකයන් විසින් විනාශ කරන්නේද? අද පවතින තත්ත්වය කෙසේද? මේ කාරණා සඳහා ඇය අපට මෙසේ පිළිතුරු ලබා දුනි.

ඔබ ගැන මුලින්ම කිව්වොත්?

මම දේදුනු වීරසේකර. මම දැනට Cat Walk උගන්වන Academy වල Training කරනවා සහ පැජන්ට්, Event වල Choreographer කෙනෙක් විදිහට කටයුතු කරනවා.

ක්ෂේත්‍රය කොහොමද එකතු වුණේ?

Filed එකට මුලින්ම ආවේ ශෂි විජේන්ද්‍රගේ ‘ශක්තිය ඔබයි අම්මේ’ කියන චිත්‍රපටයෙන්. ඒකේ ලකී ඩයස්ගේ සහ සිතාරාගේ දුවට තමයි හිටියේ. එතකොට මට අවුරුදු 07යි. ඒකෙන් තමයි මම මුලින්ම එන්නේ. ඊට පස්සේ 1999 පැජන්ට් එකක් තියෙනවා Capri Queen කියලා. ඒකේ 3rd Runnerup වෙනවා. ඒකෙන් පස්සේ ප්‍රේමසිරි හේවාවසම් යටතේ තමයි මුලින්ම Bridal Model කෙනෙක් විදිහට Dress කරන්නේ. ඊට පස්සේ 2000 වසරේදී Miss Sri Lanka for Miss Asia Pacific තරගයට Contest කරනවා. ඒකේදි congeniality කියන Title එක හම්බවෙනවා. ඒක තමයි Start එක.

නිරූපණය එන්න හිතුනේ ඇයි?

ඒක ඇත්තටම අහම්බෙන් සිද්ධ වුණ දෙයක්. ඉස්සර හිටියා මිෂෙල් රයිමස් කියලා ලස්සන Model කෙනෙක්. එයාගේ එක ෂෝ එකක් බලන්න BMICH එකට අහම්බෙන් ගිය වෙලාවක තමයි හිතුනේ මටත් එහෙම Model කරන්න පුළුවන් නම් කියලා. ඒක තමයි මගේ ඔළුවට ආවේ. මම Lawyer කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉගෙන ගත්ත කෙනෙක්. මගේ අම්මා Application එකක් දාලා මට Interview Call කරාට පස්සේ මට ඒ ආසාව ආවා. ඊට පස්සේ මයිකල්ගේ, ලෝචන්ගේ, රමණිගේ Bridal සහ Fashion ශෝ සඳහා මට ආරාධනා ලැබුණා. ඒ විදිහට ඒ ක්ෂේත්‍රයට කැමැත්තෙන් ආසාවෙන් ඉදිරිපත් වුණා වගේම ලොකු ගමනක් යන්න ලැබුණා.

නීතිඥවරියක් වීමට සිටි ඔබ නිරූපණ ක්ෂේත්‍රය පැමිණීම ගැන ගෙදරින් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

අද කාලේ එක්ක කතා කරන කොට මම දන්නවා දෙමාපියන් කැමති වෙන්නේ නැහැ කියලා. මොකද මේ වන වාතාවරණය අපේ ක්ෂේත්‍රයට අඩියක් තියන්න කැමති නැහැ. මම මේ කාලේ නිරූපණයට ආවා නම් ෂුවර් එකටම අම්මා තාත්තා කැමති වෙන්නේ නැහැ කියලා මම දන්නවා. මොකද මේ ක්ෂ්‍රේත්‍රය අද වෙද්දී විනාශ කරලා තියෙන නිසා. මේ ක්ෂේත්‍රය විනාශ වෙන්න හේතුවත් අපිමයි කියන කියන්න ඕනේ.

ඇයි ඔබ ක්ෂේත්‍රය ගැන කළකිරීමෙන්ද කතාකරන්නේ?

මම දැනට Lecture කරනවා. Catwalk සම්බන්ධව සහ පැජන්ට් වල ළමයින්ව Train කරන නිසා මම හැමෝටම කියන්නේ තමන් නිසා තමයි තමන් නැතිවෙන්නේ. අපිටත් එහෙම කාලයක් තිබුණා. ඒවුණාට හොඳ නරක කියන දේ අවබෝධ කරගන්න තරම් අපිට ශක්තියක් තිබුණා. අද වෙද්දී මම අවුරුදු 19ක් මේ ක්ෂේත්‍රයේ. ඒ නිසා අදටත් මට ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න වාසනවක් තියෙනවා. මොකද හොඳ නරක අවබෝධ කරගෙන ඉස්සරහට යන්න පුළුවන් නිසා. ජනප්‍රිය වෙන්න හා ප්‍රසිද්ධ වෙන්න කියන දෙයට තරඟයක් තිබුණට, ඇඟ විකුණගෙන ප්‍රසිද්ධ වෙන්න ආසාවක් තිබුණේ නැහැ. තරඟයක් තිබුණා ඉස්සරහට යන්න හැබැයි දැන් තියෙන තරඟය වගේ නෙමෙයි. දැන් ළමයි මොනවද කරන්නේ, කවුරු හරි Cameraman කෙනෙක් හරහා Half Naked ෆොටෝස් මොනවා හරි අරගෙන Publicity එක ගන්න තමයි ළමයින්ගේ අරමුණ. ඉස්සර බැලුවේ, Bridal Program එකක් කරලා, නැත්නම් TV එකේ නුග සෙවන වගේ දෙයකට දායක වෙන්න. ඒවගේ දේවල් වලින් අපිට ඉස්සරහට එන්න තැනක් තිබුණා. ඒ හරහා තමයි අපි ආවේ. ඒනිසා දැන් දෙමාපියන් නම් මේකට කැමති වෙන්නේ නැහැ. ඉස්සර මම ගොඩක් තරග වලට ගියේ අම්මත් එක්ක. එතකොට ඒකාලේ මේවගේ දුක හිතෙන වකවනුවක් නෙමෙයි.

සමාජ මාධ්‍ය මේකට වගකියන්න ඕනද?

නැහැ. සමාජ මාධ්‍ය නිසා නෙමෙයි මේ දේ වෙන්නේ. හේතුව අපිව කවුරුත් විනාශ කරන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ හැම අවබෝධයකින් යුතුව වැඩකටයුතු කරන්න. මම ගුරුවරයෙක් වුනත්, මම වෙන වෘත්තීයක වුණත් වැරදි කරන්න පුළුවන්. ඒ වැරැද්ද කොයිතාක් දුරට සුදුසු දෙයක්ද කියන්න අවබෝධ කර ගන්න ඕනේ. මට කියන්න කණගාටු ගොඩක් දේවල් තියෙනවා. මේ ළඟදී දවසක TV Program එකක් කලා. ඊළඟ Fit on එකේදී මට වැඩිය ගොඩක් වයසින් අඩු කෙනෙක් මගෙන් අහනවා, “අක්කේ ඔයා ළඟ සිගරට් නැද්ද” කියලා. මම ඒවෙලේ ෂොක් වුණා. මගේ Event එකක් නම් ඒවෙලේ මම ගහනවා ඒ ළමයට. එච්චරට මේ සමාජය පිරිහෙලා. ඒ කියන්නේ ළමයි දන්නේ නැහැ. තමන් ඉන්නේ කොහොද? හැසිරෙන්නේ කොහොමද කියලා. මම Class එකක් කරන නිසා මම ළමයින්ට හැමවෙලාවේම කියන්නේ. “ඔයාලා සරලව හිතන්න Model කෙනෙක් කියන්නේ කවුද කියන එක. Model කෙනෙක් කියන්නේ යම් කිසි දෙයක් Promote කරන්න භාවිතා කරන එක් දෙයක්.” ඒ නිසා හරි දේ අවබෝධ කර ගන්න ඕනේ. තමන් විසින්මයි තමන් නැති වෙන්නේ. ඒක මම අනිවාර්යෙන්ම කියනවා. අපිට කවුරුවත් වලේ වට්න්නේ නැහැ. නිරූපිකාවක් මතුපිටින් තමන්ගේ ලස්සන හදාගත්තාට මදි තමන්ගේ ඔළුව හදා ගන්නේ නැත්නම්. විනයක් නැතුව කණ්ඩායම් හැඟීමක් නැතුව Professional Model කෙනෙක් විදිහට ඉදිරියට යන්න බැහැ.

නිරූපිකාවක් කියලා ආඩම්භරයෙන් කියන්න පුළුවන්ද?

නිරූපිකාවක් විදිහට මං ගැන සතුටුවෙනවා. මොකද ඒ ක්ෂේත්‍රයට යන්න ලැබුණ නිසා, මගේ පෞද්ගලික ජීවිතයේදී හරියට අඳින්න ඕනේ, කොහොමද හැසිරෙන්න ඕනේ, මම තැනකට ගියාම ඉන්න ඕනේ කියන දේ ගැන මම බලනවා. වටපිටාව අයගේ Attraction එක ගන්න මම කොහොම ඉන්න ඕනේ කියන දේ මම නිරූපිකාවක් විදිහට මගේ ඔළුවට එනවා. එතකොට මම අනිත් අයට වඩා හොඳට අඳින්න ඕනේ. අනිත් අයට වඩා කැපී පෙනෙන්න උත්සහ කරනවා. Professional Male හෝ Female Model කෙනෙක් පිරිසක් ඉස්සරා වෙනසක්, කැපී පෙනීමක් තියෙනවා. කනබොන, කතාකරන හෝ පුටුවක් වාඩි වෙන දේ පවා වෙනසක් තියෙනවා. ඒ පැත්තෙන් මම ඒ දේවල් ඉගෙන ගත්තා. ඒකට සතුටු වෙනවා. වෘත්තීය වශයෙන් ලංකාවේ නිරූපනය තියෙන්නේ හරි අඩු මට්ටමක. මේ සම්බන්ධව සම්පූර්ණ දැනුමක් ළමයින්ට ලැබිලා නැහැ. මම Model කෙනෙක් කියලා කියන්න පුළුවන් තරම් සුදුසුකම් තියෙන අය හරි අඩුයි. ඉතිං ඒ නිසා වෘත්තීය වශයෙන් යන්න ඉන්න අයටත් තියෙන Chance අඩුයි. කෙනෙක් Bridal Shoot එකට කෙනෙක් 25,000ක් Charge කරනවා කියමුකෝ. හැබැයි එයා කොච්චර ඒකට සුදුසු වුණත්, එයාට Experience එක තිබුණත් ඒ වැඩේට තව කෙනෙක් කිව්වොත් මම 5000 වලට Model කරන්නම් කිව්වොත් ඒ දේ එයාට දෙනවා. ඒ නිසා ඒ Stranded එක නැති නිසා වෘත්තීය වශයෙන් කෙනෙකුට ඉස්සරහට යන්න අමාරුයි.

බොහෝ දෙනෙක්ගේ චෝදනාවක් තමයි නිසි අධ්‍යාපනයක් නැති අයයි අද නිරූපිකාවන් වෙන්නේ කියලා, ඒක ඇත්තද?

මම නම් අධ්‍යාපනය විදිහට දකින්නේ, අපි ඉපදුන දවසේ ඉඳන් මැරෙනකන් ඉගෙන ගන්න දෙයටයි. අපිට ඒකට කාල සීමාවක් දාන්න බැහැ. මේ ක්ෂේත්‍රයට ආවාමත් මම සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. එතනත් අධ්‍යාපනයක් තියෙනවා. කෙනෙක් මේ සීමාව දක්වා ඉගෙන ගත්තා, ඒයා මේ විභාගේ පාස් නැති නිසා නිරූපණයට ආවා කියනවානම් ඒක වැරදි දෙයක්. මම හොඳට දන්නවා ලංකාවේ ගොඩක් වෙලාවට උපාධි තියෙන ළමයින් මේ ක්ෂේත්‍රයේ නියැලෙනවා. හැබැයි ඒක වෘත්තීය වශයෙන් නෙමෙයි.

රංගන ගැන කිව්වොත්?

මම දැනට ටෙලි නාට්‍යයක කටයුතු කරලා තියෙනවා. ඒ චාමර ජනරාජ් පීරිස් මහතාගේ ‘රාහු’ ටෙලි නාට්‍යයයි. ඔහුගේම තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ගොඩක් නිර්මාණ සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ආරාධනා ලැබුණට, මම ආස නැහැ ඕනාවට වඩා ප්‍රසිද්ධ වෙන්න හෝ ජනප්‍රිය වෙන්න. මොකද මගේ ගමන හිමින් යන ගමනක්. ඕනම චරිතයක් රඟපාන්න කැමති නැති කෙනෙක්. මොකද මම අම්මා කෙනෙක්. ඉරිදට දරුවව දහම්පාසල් එක්ක යන කෙනෙක්. ඒ නිසා මෙන්න මෙයා මෙහෙමයි කියලා කවුරුත් මගේ දරුවට ඇඟිල්ල දික්කරනවට මම ආස නැහැ. ඒ නිසා එදා ඉඳන්ම හොඳ දේ මොකක්ද නරක දේ මොකක්ද මට ඒ චරිතය ගැලපෙනවාද මං ඉන්න වයස් සීමාවත් එක්ක ඒක සුදුසුනම් මම ඒක භාර ගන්නවා.

අවුරුදු 19 ක් තුළ ආපු ගමන ගැන තෘප්තිමත්ද?

ඔව් ඇත්තටම සතුටු වෙනවා. මට ලැබිච්ච සම්මාන ඒවා දැක්කාම සහ මගේ ඒ කාලේ ෆොටෝ ෂූට් දැක්කාම ඇත්තටම සතුටුයි. ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ Designers එක්ක පවා වැඩ කරලා තියෙනවා. International Shows වලට පවා මට යන්න අවස්ථාව හම්බවෙලා තියෙනවා. ඉතිං ඒ අයත් එක්ක ලංකාවේ ප්‍රසිද්ධ අග්‍ර ගණයේ නිළි රැජින මාලිනි ෆොන්සේකා මහත්මිය, ලකී ඩයස් මහත්මා, ගොඩාක් අය එක්ක වැඩ කරන්න ලැබිලා තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට වැඩිය මට Chance එකක් තිබිලා තියෙනවා ලංකාවේ ගොඩක් ජනප්‍රිය, ගොඩක් අය ආදරය කරන අයත් එක්ක කටයුතු කරන්න. ඒ නිසා හැම අතින්ම මම සතුටු වෙනවා.

නවකයන්ට උපදෙසක් දුන්නොත්?

මේ ක්ෂේත්‍රය විනාශ කරන්න එපා. Model කෙනෙක් කියලා නම විකුණගෙන මේ වෘත්තීය විනාශ කරන්න එපා. මේකත් එක්තරා වෘත්තීයක්. මගේ හිත ඇතුලෙන් මම වෘත්තීයට ආදරය කරනවා. ඒ නිසා මම ආස නැහැ මේ වෘත්තීය තව කෙනෙක් ඇවිල්ලා විනාශ කරනවාට. මොකද මේ වෘත්තීයට ගොඩක් අය ආදරය කරනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත

 

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team