හර්ෂණ ගෙන් ඉවත් වූ වොල්ගා කියපු කතාව

වොල්ගා ගැන පසුගිය දවස්වල හුගක් අය කතා කළා. ලස්සන ඇස් දෙක වගේම බොහෝ නිර්මාණවලින් රසික ආදරය දිනාගත්තු වොල්ගා තමන්ගේ අලුත්ම තොරතුරු ගැන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට හෙළි කරලා තිබුණා.

ඉතිං වොල්ගා කොහොමද?
හොඳන් වැඩ කරගෙන යනවා. නිවේදිකාවක ලෙසින් කේෂ්ත්‍රයට පිවිසුනත් මේ වනවිට මං පූර්ණකාලීනව රංගන ශිල්පිනියක් ලෙස රංගන කටයුතුවල නිරතවෙනවා.

කාන්තාවකට ලස්සන කොච්චර වැදගත් කියා ඔබ හිතනවාද?
සාර්ථක කාන්තාවක් වෙන්න ලස්සන අත්‍යවශ්‍ය නැති බවයි මගේ හැගීම.
ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙසට ලස්සනටත් වඩා තිබිය යුත්තේ හික්මීම. අපේ සංස්කෘතික රටාව තුළ ජීවත් වීමේදී ඉවසීමත් තිබිය යුතුම දෙයක්. අනිත් ප්‍රධානම දේ තමයි අනෙකා මත යැපෙන්න නොයා තමන්ගේ දේවල් තමන්ම කරගන්න හැමවෙලාවකම උත්සාහ කිරීම.

කෙනෙකුට බාහිරෙන් ලස්සන වෙන්න ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ සියල්ල සාර්ථකද?
නැහැ. මම හිතන්නේ කෙනෙක් ලස්සන වෙන්න ඕනේ හදවතින්. සිතුවිලිවලින්. අද කාන්තාවන්ට ඊර්ෂ්‍යා කරන්නේ, ක්‍රෝධ කරන්නෙ වෛර කරන්නේ කාන්තාවන්ම නොවේ. ඇතැම් පිරිමි අයත් ඒ තත්ත්වයට පත්වෙලා. කවුරු කොහොම අකුල් හෙළුවත් අපි ශක්තිමත් නම් සිතුවිලිවලින් පොහොසත්නම්, අපව වට්ටන්න කාටවත් බෑ. ඒ වගේමයි අපි මනසින් නිරවුල්ව ඉන්නවානම්, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මඟ හැරලා ඉන්නවා නම් ඉබේම ලස්සන වෙනවා.

ඔබ ලස්සනට ඉන්න මොනවාද කරන්නේ කියලා දැනගන්න කැමතියි?
කෑම බීම ගැනනම් සැළකිලිමත්. ප්‍රධාන ආහාරයට රතු බත් එකතු කරගන්නවා. පළාවර්ග, එළවළු, පළතුරු ගොඩක් කනවා. ඊට අමතරව දවසකට වතුර ලීටර් 3ක් කොහොම හරි බොන එක මගේ ටාර්ගට් එකක්. තෙල් කෑම, පිටි කෑම කන්න ටිකක් විතර අකමැතියි.

ඒත් මම ඇග ගැන හිතලා ගොඩක් කෑම පාලනය කරන කෙනෙක්නම් නෙමෙයි. විවේකීව ගෙදර ඉන්න දවසට යෝගට් එකකට කස්තුරි කහ ස්වල්පයක් දාලා ඇගේ ගාන්න පුරුදු වෙලා ඉන්නවා. මෙමගින් මැරුණ සම ඉවත් වෙලා සමට දීප්තිමත් පෙනුමක් ලැබෙනවා. කඩල පිටි ඇල්වතුරෙන් අනලා භාවිතා කිරීමටත් පුරුදු වෙලා ඉන්නවා.

ම්… ඊට අමතරව පළතුරු ජූස් වර්ග, යෝගට් වගේ හමට හිතකර කෑම බීම නිතර ගන්නවා. ඇගේ හැඩය තියා ගන්න ව්‍යායාම කිරීම මම ආසාවෙන් කළත් මීට අවුරුදු 2 කට කලින් ඩෙංගු හැදුණ නිසා, වෛද්‍යවරු නියම කරලා තිබුණා වසර දෙකක් යනකම් ව්‍යායාම කරන්න එපා කියලා. මේ වසරේ අගෝස්තු මාසෙන් පස්සේ නැවත ව්‍යායාම කටයුතුවල නිරත වෙනවා.

සුදුවෙන ආසාව ඔබටත් තියෙනවාද?
අම්මෝ නැහැ. බොහෝ රටවලට ගියාම තේරෙනවා ආසියානු අපට තියෙන හම කොච්චර ලස්සනද, ආරක්ෂිතද කියලා. කවදාවත් සුදුවෙන්න පෙති බොන්න, ආලේපන ගල්වන්න මම පෙළඹිලා නැහැ. පෙළඹෙන්නෙත් නැහැ. මගේ හමේ පාටට මම හරිම ආදරෙයි.

ඔබ ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවුද?
ඓශ්වර්යා රායි. එයාගේ ලස්සනට, පෞර්ෂයට, දක්ෂතාවයට වගේම චරිතයටත් මං හරිම ආසයි.

ඔබ හිතන විදිහට කාන්තාවකගේ ලස්සන නැතිවෙන්න බලපාන කරුණු මොනවාද?
මම හිතන්නේ උපතින් ලැබුණ ලස්සන රැකගන්න උත්සාහවන්ත වෙන එක අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක්. මම දකින විදිහට කෙනෙකුගේ ලස්සන නැතිවෙන්න බලපාන ප්‍රධානම හේතුව උවමනාවක් නැතිකම.

අනිත් දේ තමයි ඊර්ෂ්‍යාව, තරහාව හිතේ පුරවන් ඉන්න එක. අප අදහන ආගම අනුව අධ්‍යාත්මිකව ගුණධර්ම වගා කරමින් ජිවත් විය හැකිනම් එය තමාගේ හිතටත් හරිම සැහැල්ලූ දෙයක්.

තවත් ප්‍රධානම දෙයක් වෙන්නේ පිරිසිදුකම. ගැහැණියෙකු ලස්සන වෙන්න උත්සහා කරනවාට වඩා ඇත්තටම විය යුත්තේ පිරිසිදුව සිටීමයි. මුහුණ විතරක් නොවේ කොණ්ඩය, නිය, පාද ඇඟ ආදි සියලූ අවයවයක්ම පිරිසිදුව තියා ගන්න උත්සාහ ගත යුතුයි.

කෙනෙකුට ලස්සන ලැබෙන්නේ කුමක් නිසාද?
ම්.. මම හිතන්නේ මම පෙර ආත්මේ පිං කරලා තියෙනවා. ලස්සන ගැන මම කවදාවත් ආඩම්බර වෙන්නෑ. මොකද මේ ශරීරය මොහොතක් ගානේ වයසට යන නිසා.

කෙනෙක් ඔබව ලස්සනයි කියා අගය කළොත්?
හරිම සතුටුයි. ලංකාවේ ගොඩක් අය දැන් තව කෙනෙක්ව අවංකව අගය කරන්න පෙළඹිලා ඉන්නවා. එය හරිම සුබවාදී දෙයක්. මොකද හැමෝගේම ඇදයි, අඩුපාඩුයි දකිනවාට වඩා දකින ලස්සන වර්ණනා කරන එක හොඳයි නේද?

විලාසිතා තෝරා ගැනිමේදී ඔබ සැළකිලිමත්ද?
ඔව්. අවස්ථාව අනුව තැනට ගැලපෙන විදිහට මම නිතර අඳිනවා. සැහැල්ලූ ඇඳුම්වලට ගොඩක් කැමතියි.
මොනතරම් ඉහළින් පවත්වන උත්සවයකට පවා මම ‘ගෝඩියට’’ අඳින්න නම් ආසා නැහැ.

ලස්සනට ඉන්න මේකප් කරන එකට ඔබ එකඟද?
තැනකට යද්දී පිළිවෙලට, පිරිසිදුව ඇඳලා මුහුණට ගැලපෙන සිම්පල් මේකප් එකක් කරලා ප්‍රියමනාපව ඉන්න එක හොඳයි. ඒත් සමහරු ගෙදරටත් ලිප්ස්ටික් ගාගෙන ඉන්නවා. ඒකනම් මම අනුමත කරන් නෑ.

පුංචි කාලේදී ‘දියණිය’ ලස්සන කරන්න කියලා අම්මයි තාත්තයි වෙහෙසුනාද?
ලොකු දේවල්නම් කළා කියලා මතක නැහැ. ඒත් හමට හොඳයි කියලාත් ඇඟට හොඳයි කියලාත් තාත්තා තැඹිලි නම් පුංචි කාලේ දවස ගානේ දෙනවා.
අම්මාත් පළතුරු වර්ග, පළාවර්ග ගොඩක් උනන්දුවෙන් දුන්න බවනම් මතකයි.

බිරිඳක් ලස්සන වූ පමණින් පවුල් ජීවිතයක් සාර්ථක වෙනවාද?
නැහැ. කොහෙත්ම නැහැ. ඕනෑ තරම් ලස්සන අයගේ පවුල් ජීවිත දෙදරා ගිහින් තිබෙන බව දැක තියෙනවා. පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙකුගේ ලස්සනට විතරක්ම ආදරය කරනවානම් එහි සැබෑ ආදරයකුත් නැහැ. පවුල් ජීවිතයක් සාර්ථක වෙන්න අවංකකම, විශ්වාසය, ගැලපීම, තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. ලස්සන කියන්නේ කෙනෙකුට ඇසට දැනෙන ආකර්ශනයක් විතරයි.

උපුටා ගැනීමකි

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team