පාර්ලිමේන්තුවේ ටයිල් පොළොවේ මන්ත්‍රි දෙපළක් ලිස්සා වැටිලා

පාර්ලිමේන්තු සංකීර්ණයේ පොළොවට අල්ලා තිබෙන ‘ටයිල්’ මත ලිස්සා ගොස් මන්ත්‍රිවරුන් දෙදෙනකු ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පිරිසක් බිම ඇදවැටීම නිසා මැති ඇමැතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ලිස්සා ඇදවැටෙතැයි බියෙන් ඇවිදයන බව වාර්තා වේ.

පොළොව පිරිසුදු කිරීම සඳහා වෙනදා පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය වෙනුවට මිල අධික වෙනත් රසායනික ද්‍රව්‍යයක් රැගෙනවිත් පාවිච්චි කිරීම නිසා මේ තත්ත්වය හටගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මුජිබර් රහුමාන් සහ විජිත බේරුගොඩ යන මන්ත්‍රිවරුන් ලිස්සා ගොස් බිම ඇදවැටී ඇති බවත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විසිදෙනකු පමණ ලිස්සා ගොස් බිම ඇදවැටී ඇතිබවත්ද වාර්තා වේ.

අශෝක් අබේසිංහ, රාජිත සේනාරත්න යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම ලිස්සා ගොස් බිම ඇද නොවැටී බේරී ඇති බවද දැනගන්නට ඇත.

උණුවතුර සහ වෙනත් ක්‍රම යොදා මෙම ලිස්සන තත්ත්වය මඟහරවා ගැනීමට සේවකයන් කටයුතු කළද ගනු ලැබූ කිසිම ක්‍රියාමාර්ගයක් සාර්ථක නොවූ බවද පාර්ලිමේන්තු සේවකයෝ සඳහන් කරති.

මෙම ගොඩනැඟිල්ල ඉදිකළ අවස්ථාවේ යොදා තිබුණු ටයිල් ඉවත් කර අලුතින් ටයිල් ඇල්ලීම සඳහා අවස්ථාව සලසා ගැනීම සඳහා මෙසේ අධික මිලකට ටයිල් පිරිසුදු කිරීමේ රසායන ද්‍රව්‍යයක් ගෙනැවිත් පාවිච්චි කර ඇති බවට සැක පහළ වී ඇතැයිද පාර්ලිමේන්තු සේවකයෝ පවසති.

පවතින ලිස්සනසුලු තත්ත්වය මඟහැරවීමට පියවර නොගතහොත් මැති ඇමැතිවරුන් පමණක් නොව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මෙන්ම පිටතින් පැමිණෙන අය පවා ලිස්සා ගොස් බිම ඇදවැටීමෙන් බරපතළ අනතුරුවලට ලක්විය හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද සේවකයෝ පෙන්වා දෙති.

මෙසේ ලිස්සා ගොස් බිම ඇදවැටුණු කිහිපදෙනකු තුවාල ලබා පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවද වාර්තා වේ.

පොළොව ලිස්සනසුලු බවට අනතුරු හඟවන පුවරු තැනින් තැන තබා ඇතත් බිම් මහලේ ලිස්සනසුලු ස්වභාවය දැඩිව පැවතීම නිසා ඊයේ (22දා) පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පිරිසක් ලිස්සා ගොස් බිම ඇදවැටුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team